Alien Planets

පෙර ලිපි වලදී පිටස්තර ග්‍රහලෝක හා ග්‍රහලෝක පද්ධති සොයා ගන්නා ආකාරය පැහැදිලි කල ද, එසේ සොයා ගන්නා ග්‍රහලෝක වර්ගීකරණය කරනා ආකාරය පැහැදිලි කිරීමක් සිදු නොවුනි. මන්දයත් සෑම අවස්ථාවකදීම කිසියම් හෝ ක්‍රමවේදයකින් සොයා ගන්නා පිටස්තර ග්‍රහලෝක එකම වර්ගයේ ඒවා නොවීමත් එලෙස වීමට කිසිදු සම්භාවිතාවක් නොමැති වීමත්ය. ඒ අනුව එක් එක් ක්‍රමවේදය මගින් අනාවරණය කර ගන්නා පිටස්තර ග්‍රහලෝකය වර්ගීකරණය කිරීම සදහා නිශ්චිත ක්‍රමවේදයක් පැවතිය යුතු අතර එම වර්ගීකරණයේ දී පිටසක්වල ග්‍රහලෝක පිලිබඳ වූ ආවර්තිතා වගුවට (Periodic Table of Exoplanets) හිමි වන්නේ ඉහල සන්ධිස්ථානයකි.

මෙම ආවර්තිතා වගුව University of Puerto Rico’s Planetary Habitability Laboratory (PHL)හි අධීක්ෂක කාර්යයේ නියුතු Abel Méndez ගේ මූලිකත්වයෙන් නිර්මාණය කරන ලද අතර හුරු පුරුදු රසායන විද්‍යාවේ ආවර්තිතා වගුව මෙන්ම ආවර්ත හා කාණ්ඩ වලින් යුක්තය.

රසායන විද්‍යාවේ ආවර්තිතා වගුව මෙන් සංකීර්ණ නොවන මෙම ආවර්තිතා වගුව කාණ්ඩ හයකින් හා ආවර්ත තුනකින් සමන්විත වේ.මෙම වගුවේ ග්‍රහලොව හා තාරකාව අතර දුර සලකා ප්‍රභේද තුනකට වෙන් කර ඇති අතර ඒවා ග්‍රහලොව අයත් උෂ්ණත්ව කලාපයන් ලෙස හැඳින්වේ. මෙම උෂ්ණත්ව කලාපයන් ආවර්තයන් ලෙස  සලකන අතර ඒවා අධික උණුසුම් කලාප (Hot zone), උණුසුම්/ජීවයට හිතකර කලාප (Warm/Habitable zone),අධික සිසිල් කලාප (Cold zone)  ලෙස හැඳින්වේ. ඒ අනුව කාණ්ඩයක් ඔස්සේ පහලට ගමන් ගැනීමේදි ග්‍රහලොව අයත් උෂ්ණත්ව කලාපය අධි උණුසුම් කලාපයේ සිට අධික සිසිල් කලාපය දක්වා වෙනස් වේ. ග්‍රහලෝක වර්ගීකරණය කිරීමේදි එය තාරකාවට පවතින දුර සැලකීම පමනක් ප්‍රමාණවත් නැත. මන්දයත් සෑම ග්‍රහලොවක්ම එකම ප්‍රමාණයෙන් යුතු නොවීමයි. ඒ අනුව ග්‍රහලෝක වර්ගීකරණයේදි එහි ප්‍රමාණය, ස්කන්ධය හා සංයුතිය ද සැලකිය යුතුය. ඒ අනුව ග්‍රහලෝක වර්ග හයකට වෙන් කරන අතර, මෙම වර්ග හය ස්කන්ධය වැඩි වන පරිදි ආවර්තිව සකස් කල විට ඒවා ඉහත ආවර්තිතා වගුවේ කාණ්ඩ ලෙස නිරූපණය වේ. ඒ අනුව ආවර්තයක් ඔස්සේ දකුණට ගමන් කිරීමේ දී ග්‍රහලෝක අයත් කාණ්ඩය බුධ ග්‍රහයන්ගේ සිට බ්‍රහස්පතින් දක්වා වෙනස් වන අතරම ග්‍රහලොවේ සංයුතිය ද භෞමික අවස්තාවේ සිට වායුමය අවස්තාව දක්වා වෙනස් වේ. කෙසේ මුත් මෙම ආවර්තිතා වගුව ප්‍රධාන වශයෙන් කණ්ඩායම් දෙකකට වෙන් කර ඇති අතර ඒවා භෞමික ග්‍රහලෝක(Terrans Group) හා යෝධයන්(Gaints Group) නම් වේ. පලමු කාණ්ඩයේ සිට සතරවන කාණ්ඩය දක්වා භෞමික ග්‍රහලෝක කාණ්ඩය පවතින අතර පහ සහ හය යෝධ කණ්ඩයමට අයත් ග්‍රහලෝකයන්ගේ කාණ්ඩයන් වේ. එලෙසින් නිර්මිත පිටස්තර ග්‍රහලෝකයන්ගේ ආවර්තිතා වගුව පහත දැක්වෙන අතර, එහි 2018 වසර තෙක් සොයා ගත් පිටස්තර ග්‍රහලෝක වර්ගීකරණය කර ඇති ආකාරය පැහැදිලි කර ඇත.

This image has an empty alt attribute; its file name is PT_Confirmed.jpg

පෙර රසායන විද්‍යාවේ සිදු කලාක් මෙන් මෙහෙදී ද එක් එක් කාණ්ඩයන්ට අනුකූලව ග්‍රහලෝක වර්ගීකරණය සැලකීම පහසු වේ.

පලමු කාණ්ඩය

This image has an empty alt attribute; its file name is fd593f33-3155-42a9-a691-e1058398fb15.jpg

මෙම කාණ්ඩය Mini Terrans නමින් හඳුන්වනු ලබන අතර ස්කන්ධයෙන් පෘථිවිය මෙන් 10-5 ත් 0.1 වන අරය පෘථිවියේ අරය මෙන් 0.03 සිට 0.4 දක්වා වූ ග්‍රහලෝක මෙම කාණ්ඩයට අයත් වේ. මෙම ග්‍රහලෝක ප්‍රමාණයෙන් හා ස්කන්ධයෙන් චන්ද්‍රයා හෝ බුධට සමාන වේ. මෙම කාණ්ඩයේ සාමාජිකයන් තිදෙනාට ආවර්තානුකූලව Hot Miniterrans, Warm Miniterrans, Cold Miniterrans ලෙස හදුන්වන අතර මෙහි Warm Miniterrans වර්ගයේ ග්‍රහලෝක ජීවයට සුදුසු දුරකින් පිහිටන මුත් ප්‍රමාණවත් වායුගෝලයක් රඳවා ගැනීමට  තරම් ස්කන්ධයක් නොමැති හෙයින් ජීවයට සුදුසු ග්‍රහලෝක ලෙස නොසැලකේ.

දෙවන කාණ්ඩය
මෙම කාණ්ඩයට අයත් ග්‍රහලෝක අගහරු ප්‍රමාණිත ග්‍රහලෝක වන අතර මෙම කාණ්ඩය Subterrans නමින්ද හදුන්වනු ලැබේ. ස්කන්ධයෙන් පෘථිවිය මෙන් 0.1ත් 0.5 අතර වන හා අරය පෘථිවි අරය මෙන් 0.4 සිට 0.8 ත් දක්වා පරාසයක මෙම කාණ්ඩයේ ග්‍රහලෝක හමුවේ. මෙහි දෙවන ආවර්තයට අයත් Warm Subterrans  කාණ්ඩයේ ග්‍රහලෝක ජීවයක් පවත්වා ගැනීමට තරම් වායුගෝලයක් හා අවශ්‍ය තත්ත්ව පවතින හෙයින් පෘථිවියට සාපේක්ෂ ජීවයට සුදුසු ග්‍රහලෝක ලෙස සැලකේ. එම නිස හමුවන මෙම කාණ්ඩයේ ග්‍රහලෝක පිලිබද දැඩි අවධානයක් යොමු වේ. එනමුත් ග්‍රහලොව සතු අඩු ස්කන්ධය හේතුවෙන් සාගරමය ජීවයකට වඩා භෞමික හෝ අහස්ගත් ශිෂ්ඨාචාරයක් මෙම ග්‍රහලෝක වලදි බලාපොරොත්තු විය හැක. මෙම කණ්ඩයේ අනිකුත් සාමාජිකයන්  Hot Subterrans, Cold Subterrans ලෙසින් හඳුන්වනු ලැබේ.

තෙවන කාණ්ඩය
මෙම කාණ්ඩය තුල පෘථිවිය හෝ සිකුරු වැනි ග්‍රහලෝක නිරූපනය වන අතර මෙම කාණ්ඩයට අයත් ග්‍රහලෝකයන්හි ස්කන්ධ ව්‍යාප්තිය පෘථිවිය මෙන් 0.5 සිට 5 දක්වා අගයක් ගන්නා අතර ග්‍රහලොවේ අරය පෘථිවිය මෙන් 0.8 ත් 1.5 අතර අගයක් ගනී. ඒ අනුව මෙම කාණ්ඩය Terrans නමින් හැදිවෙන අතර මෙහි සාමාජිකයන් Hot Terrans, Warm Terrans, Cold Terrans ලෙස හදුන්වනු ලැබේ. මෙහි ජීවයට හිතකර කලාපයේ අයත් ග්‍රහලෝකයන් පෘථිවිය වැනි ලෝකයන් හෙයින් මෙවන් ලෝකයන් සෙවීම අතිශය වැදගත් ගනයෙහි ලා ගැනේ. මන්දයත් එවන් ලෝකයන්හි පෘථිවිය වැනි පැතිරුනු ජීව ලෝකයන් අපේක්ෂා කල හැකි බැවිනි. එලෙසින්ම බුද්ධිමත් ජීවයක් සදහාද අවකාශ(පෘථිවියට සාපේක්ෂ )මෙම ග්‍රහලෝකයන්හි ඉහල වේ.

සිව්වන කාණ්ඩය

This image has an empty alt attribute; its file name is NP78XS7jJP6E82nGwNU9Ye.jpg

භෞමික කණ්ඩායමට අයත් අවසාන කාණ්ඩය වන මෙම කාණ්ඩය Superterrans  නමින් හැඳින්වේ. මෙම කාණ්ඩය තුල සුපිරි පෘථිවීන් හා කුඩා නෙප්චූන ග්‍රහලෝක අඩංගු වේ. ස්කන්ධයෙන් පෘථිවිය මෙන් 5 ත් 10 ත්, අරය පෘථිවිය මෙන් 1.5 සිට 2.5 දක්වාත් ව්‍යාප්තියක් නිරූපනය කරන මෙම කාණ්ඩය භෞමික හා යෝධයන් අතර සංක්‍රන්ති ස්වරූපය නිරූපනය කරනු ලබයි. ඒ අනුව මෙහි සාමාජිකයන් කාණ්ඩය ඔස්සේ පහලට ගමන් ගන්නා පරිද්දෙන් පිලිවෙලින් Hot Superterrans, Warm Superterrans, Cold Superterrans ලෙස හැදින්වේ. මෙහි ජීවයට හිතකර කලාපයේ පිහිටන ග්‍රහලෝක කාණ්ඩයද ජීවය පැවතිය හැකි ග්‍රහලෝක කාණ්ඩයන්ට අයත් වන බැවින් මෙම ග්‍රහලෝක සදහාත් නිරතුරු අවධානය හිමිවේ. එනමුත් මෙවන් ග්‍රහලෝකයන්හි ගුරුතවය අධික බැවින් ජලාශ්‍රිත හා භෞමික ජීවයක් අපේක්ෂා කල හැකිය.

ඒ අනුව කලාපයට අයත් ග්‍රහලෝක කාණ්ඩයන් මින් අවසන් වන අතර යෝධ කලාපයට අයත් කාණ්ඩ හා අනිකුත් වර්ගීකරණයන් සම්බන්ධයෙන් වෙනත් ලිපියකින් පැහැදිලි කරනු ඇත.